Views  
පුංචිගෙ ගෙදර වහලියක් වුණු පුංචි කෙල්ල

පුංචිගෙ ගෙදර වහලියක් වුණු පුංචි කෙල්ල

හරියටම වෙලාව දහවල් 12.00යි. කඩිමුඩියේ පය ඉක්මන් කළේ පත්තර කන්තෝරුවට යන්න. ඇඟට පතිත වන අව්රශ්මිය ඉවසාගෙන ඉන්න බැරි තරම්. එහෙමයි කියලා මේ ජීවිතේ ගෙනියන්නත් එපැයි. දුකයි, රහයි, සැපයි මාවතේ කියලා පය ඉක්මන් කළා. ඒත් ගමනාන්තයට බස් රථයක් පැමිණෙන තෙක් බොහෝ වෙලාවක් බස් නැවතුමේ බලා සිටින අතරේ මද වේලාවකින් දරුවෙක් කරපින්නා ගත්ත තරුණ ගෑනු ළමයෙක් මට අතපෑවේ පුදුමාකාර අසරණකමකින්. හිත නම් කිව්වේ කීයක් හරි දුන්නොත් හොඳයි නේද කියලා. දුන්න ගාන පුංචි වුණත් දීපු පිං ටික නම් ආත්ම ගාණකටම දුන්නා කියලයි මට හිතුණේ. ඇගේ මුහුණ විඩාවෙන් මිරිකිලා. ඇය දරුවන් වඩාගෙන බස්නැවතුම අසල බිමකින් වාඩිවුණේ ඒ දෙපයට පුංචි විවේකයක් දෙන්න. වාඩි වෙන්න සැපපහසු ස්ථානයක් නැතත් ඒ බිම් ආසනේ ඇයට හරියට රාජාසනයක් වගේ. ඇයට මම කිට්ටු වුණේ පත්තරේට මෙහෙම කථාවක් ලියන්න හිතලවත් නෙමෙයි. ඒත් ඉවක් බවක් නැතිව එහාට මෙහාට ගෙවන ජීවිතේ ඇතුළේ කාටවත් නොකියපු කතාවක් තිබුණා.

 

දරුවන්ගේ ලෝකය කියන්නේ කොයිතරම් සුන්දරද? ඒ ලෝකයේ ප්‍රබලයා වෙන්නේ ආදරය. ඒ ආදරයට මිලක් නියම කරන්න ලෝකේ කාටවත්ම බැහැ. ඒත් ඒ ආදරේ මුදලට විකුණන මව්වරුන් මේ සමාජයේ කොයිතරම් නම් ඉන්නවද?


හිතේ කිසිදු බරක් පතළක් නැතිව එහාට මෙහාට පැන පැන හිනාවෙන මේ පුංචි දරුවන්ගේ හෙට දවස ගැන හිතන්න ගොඩක් ඈතයි. අව්වට වැස්සට මේ ශරීර හෙම්බත් වෙලා. අම්මගේ තනපුඩුවේ එල්ලිලා උණුහුම විඳින්න ඕන දරු පැටව් මේ විදිහට කාලෙ ගෙවෙන්නේ කාගේ වරදින්ද කියන්නට ඔබ මා දන්නේ නැහැ.


ඒත් මේ කතාව අහන්න, ඇය වගේම දියණියක්, ඇය කරපින්නාගෙන සිටින කිරි දරුවෙක් ඔබටත් ඇති. මේ සමාජය අපි හිතන තරම් සුවදායක නැහැ. ඒත් ඇයි දරුවො මේ විදිහට අපා දුක් ගෙවන්නේ.


ඔබ ඇගේ කතාව කොයි ආකාරයට බාර ගත්තත් ඒ ජීවිතයත් සුන්දර ලෝකයක් සොයනවා. ඒත් ඒකට මේ සමාජයේ ඉඩක් නැහැ. එයයි සත්‍යය. ඇය නාමලී ඇය ඉන්නෙ කොහෙද කියන්න නාමලී කැමති වුණේ නැහැ.


මම ඉන්නේ කොහෙද? කාගේ කවුද කියන දේ වැදගත් නෑනේද?


හරි නාමලී ඔයා එහෙම හිතනවානම් මම එකඟයි.


මට තවම අවුරුදු දාහතයි. මගේ තාත්තා මම පුංචි කාලේදිම මැරිලා. මම හරියටම දන්නේ නැහැ අම්මා කියලා තියෙන්නේ මැරිලා කියලා. තාත්තට ගොඩක් සල්ලි තිබුණලු. තාත්තා මැරුණට පස්සෙ අම්මට මාවත් අරගෙන ගෙදරින් යන්න කියලා තාත්තගේ පවුලේ කට්ටියගෙන් බලපෑම් ආවා. ඔවුන් අපිට සැලකුවේ නැහැ. ජීවත් වෙන්න විදියක් නැති නිසා අම්මා රැකියාවක් කළා. අපි මුලින්ම ජීවත් වුණේ පානදුරේ පැත්තේ කුලී ගෙදරක. අම්මා ඒ අතර පානදුරේ වැඩපළක වැඩ කළා. ඔහොම ඉන්නකොට..... එතකොට මට අවුරුදු දහයයි. අම්මා රට යන්න හැදුවා. මාව දාලා යන්න තැනක් නැතුව කිහිප වරක්ම අම්මගේ රට යන ගමන් නතර වුණා. පස්සෙ අම්මගේ නංගි (පුංචි) ළඟ මාව දාලා අම්මා රට ගියා. පුංචිටත් දරුවො දෙන්නෙක් ඉන්නවා. අම්මා රට ගියත් හරි මාස හයක් විතර යනකම් අපිට කතා කළේවත් නැහැ. අම්මා රට ගියේ මාව ඉස්කෝලෙ යවන්න පුංචිට සල්ලි එවනවා කියලා පොරොන්දු වෙලා. ඒත් සල්ලි තියා අම්මගෙන් කෝල් එකක්වත් ලැබුණේ නැහැ. පුංචි අම්මගේ ආදරේ, සෙනෙහස ඒ හැමදේම තිබුණේ ටික දවසයි. පස්සේ පස්සේ මට කතා කළේ තිරිසන් සතෙකුට වගේ. පුංචිටත් ඉන්නේ දුවලා දෙන්නෙක්. අවසානයේ ගෙදර වැඩ සියලුම දේ කරන්න වුණේ මට. මට වෙන යන්න තැනක්, කියන්න කෙනෙක් නැති නිසා හැම දුකක්ම විඳගෙන පුංචි අම්මා ළඟ මම ජීවත් වුණා. නිතරම දෙස් තිබ්බේ අම්මාට. මාව පුංචිලට ලොකු බරක් කියලා කියපු සමහර අවස්ථා තිබුණා. ඒත් මම කොහේ කියලා යන්නද... සමහර දවස්වලට පුංචිගේ හිතේ පීඩනය පිට කළේ මට වේවැලක් කැඩෙනකම්ම ගහලා. ඒ මම වරදක් කරලා නෙමෙයි. නැති වරදක් හදලා හරි පුංචි, තරහා පිට කළේ ඒ විදිහට. නාමලී ඒ වෙනකොට අවුරුදු දහයක දරුවෙක්. අම්මා නාමලීව තමන්ගේ නැගණියට බාර කරලා විදේශගත වුණේ ආර්ථික අපහසුතාවලින් හෙම්බත් වෙලා හිටපු නිසා. නාමලීගේ අම්මට නාමලීව තියලා යන්න තමන්ගේ සහෝදරිය තරම් විශ්වාස කෙනෙක් තවත් හිටියේ නැහැ. ඒත් පුංචි නාමලීට අවසානයේ සිද්ධ වුණේ පුංචි අත් දෙකෙන් මහා වැඩ කන්දරාවක් කරන්න. ඇත්තටම නාමලීගේ අම්මට මොකද වුණේ කියන්න විදේශගත වෙලා මාස හයක් යනතුරුත් දුරකථන ඇමතුමක්වත් ලැබුණේ නැහැ. මේ මාස හය ඇතුළත පුංචි නාමලීට ඇගේ වයසට වඩා මහා වේදනාවන් කන්දරාවක් දරාගන්න සිද්ධ වුණා.


මාස හයකට පස්සේ අම්මගෙන් දුරකථන ඇමතුමක් ආවා. අම්මා රට යැව්වෙ හොර ඒජන්සිකින්. මාස හයකට පස්සේ තමයි අම්මා රස්සාවක් සොයාගෙන තියෙන්නේ ඒ රටේ ඉඳපු අම්මගේ යාළුවෙකුගේ මාර්ගයෙන්. ඒ කතා කළත් අම්මා කතා කළේ ටික දවසයි. එක පාරක් පුංචිට සල්ලි එව්වා. ආයෙම කලින් වගේ කිසිම තොරතුරක් ලැබුණේ නැහැ. අදටත් අම්මගේ කිසිම තොරතුරක් නැහැ. අම්මා කොහේ හරි හොඳින් ඉන්නවා කියලා මට විශ්වාසයි. ඒත් අම්මට අම්මගේ දූ එකපාරම මේ විදිහට දාලා යන්න හිත දුන්නේ ඇයි? මම මෝඩයෙක් නෙමෙයි. මට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒත් මට ඒ හැම දේම නැති වුණා. අම්මා තාත්තා නැති අනාථ ළමයෙක් වුණත් මටත් ආත්මයක් කියලා දෙයක් තියෙනවා. පුංචිගේ දුවලා මට නිතරම කතා කළේ හරිම පහත් විදිහට. ඒ හැම දේම මම විඳදරාගෙන හිටියේ පුළුවන් කමකට නෙමෙයි.


ඔහොම ඉඳිද්දි පුංචි මට කිව්වා ගෙදර නිකං ඉඳගෙන කන්න බොන්න දෙන්න බැහැ. රස්සාවක් කරපං කියලා. මගේ වයස ඇහුවම කවුරුත් රස්සා දෙන්න කැමති වුණේ නැහැ. බැරිම තැන පුංචි කියන කතා අහගෙන මෙහෙම බැලමෙහෙවරකම් කළා ඇති කියලා මට හිතුණා. ගෙදර කවුරුත් නැති වෙලාවේ මම ගෙදරින් පැනලා ආවා. ඒත් රෑ වේගෙන එනකොට මට ඇඬුණා. ආයෙම ගියොත් පුංචි ගහනවා. මැරුවත් කමක් නැහැ කියලා මම ආයෙම ගෙදර ගියා. ගිය ගමන් වේවැලක් කැඩෙනකම් පුංචි ගැහුවා. දවස් දෙකක් කන්න දුන්නේ නැහැ. ඒ වෙලාවේ මැරෙන්න කියලා හිතාගෙන පැනඩෝල් බිව්වා. ඒත් මුකුත් වුණේ නැහැ. ඒ වෙනකොට මට ජීවිතේ එපාම වෙලා තිබුණේ. මම කොල්ලෙක් එක්ක පැනලා ගියා කියලා පුංචි මාව පොලිසියට එක්කගෙන ගිහින් පැමිණිල්ලක් දැම්මා. ඒ වෙලාවෙදී මම පුංචිගේ වරදක් කියන්න ගියේ නැහැ. පොලිසියෙන් මගෙන් විවිධ ප්‍රශ්න අහද්දි මම කිව්වා පුංචිලගෙ ගෙදර හොඳයි කියලා. ඔය විදිහට ජීවිතයේ ලොකු දේවල්වලට මට මූණ දෙන්න වුණා.


ඔය අතරතුරදී පුංචිලගෙ ගෙවල් ළඟ නැන්දා කෙනෙක් දවසක් මගෙන් විස්තර ඇහුවා. මම ඒ නැන්දා එක්ක හැම දේම කිව්වා. පස්සේ ඒ නැන්දා කිව්වා ඉක්මනටම රස්සාවක් හොයලා දෙන්නම් බය නැතුව ටික දවසක් ඉඳපු විදිහටම ඉන්න කියලා. ඒ නැන්දගේ අනුදැනුම ඇතිව මම පුංචිට හොරෙන් ගෙදරින් ආවා. ඒ ආවේ නම් ආයෙම යන්න නෙමෙයි. ඒ නැන්දා මාව මැඩම් කෙනෙකුට භාර දුන්නා. ඒ මැඩම් ඉන්නේ බොරැල්ලේ. ඒ මැඩම් කරන්නේ මිනිස්සුන්ව කුලියට සිඟමනේ යොදවලා හම්බ කරන එක. මං වගේ තවත් ළමයි එතන ඉන්නවා. අපිට මාසෙට තමයි පඩි ගෙවන්නේ.


එතකොට මේ ළමයා කාගෙද?


පොඩි දරුවන්වත් ගන්නේ සල්ලිවලට නෝනා. ඒ මැඩම් ළඟ වැඩකරන ගෑනු ඉන්නවා. ඒ ගෑනිට මැඩම් ළමයා පාවිච්චි කරනවට වෙනම ගාණක් ගෙවනවා. එයාට පඩි දෙකයි. ඇයි ළමයාව දෙනවටත් සල්ලි දෙනවනේ. දැන් දරුවා අපට හුරුයි. නැත්නම් අඬනවා. පුංචිගේ අපායේ ඉන්නවට වඩා මේ රස්සාව දහස් ගුණයකින් හොඳයි. මම දන්නවා මට වයස නැති නිසා මේ කරන දේ නීති විරෝධියි කියලා. ඒත් වෙන කරන්න දෙයක් නැහැ නෝනා. නෝනා මගේ කතාව ඇහුවා කියලා මොනවා කරන්නද? මම වගේ තව ළමයි මැඩම් ළඟ ඉන්නවා. එතන ඉතින් තව තව සිද්ධි වෙනවා. මට නම් තවම එහෙම සිද්ධිවලට මුහුණ දෙන්න වෙලා නැහැ.


තව තව සිද්ධි වෙනවා කිව්වේ....


අනේ ඕවා කියන්න බැහැ නෝනා.  


මිනිස්සු ජීවත් වෙන්නනේ හැමදේම කරන්නේ. ඇය කියන්නට සිටි සමහර දේවල් නැවතත් සිතේ ගුලිකරගෙන කඳුළු පිරි දෙනෙතින් මට සමුදුන්නා.


ඇගේ වයසට වඩා ජීවත් වෙන පරිසරයත් එක්ක පුංචි කට්ට කමකුත් තියෙනවා. ඒ කොහොම වුණත් ඒ කතාව සහ ඇගේ සිනාව හරිම අව්‍යාජයි. ඇය කරපින්නාගෙන ඉන්න පුංචි කිරි දරුවාට අනේ මේ සිදුවන දේ පිළිබඳ හයක් හතරක් තේරෙන්නේ නැහැ. මිනිස්සු ජීවත් වෙන්න මොනතරම් නම් දේවල් කරනවද? තමන්ගේ කුසින් වදාපු දරුවා මේ විදිහට විකුණාගෙන කන සමාජයක අනාගත දරු පැටවුන්ගේ හෙටක් ගැන කොහොම හිතන්නද?
නාමලී කියන්නේත් මහ ලොකු ගැහැනියක් නෙමෙයි. තවමත් වයස අවුරුදු 18ට අඩු දරුවෙක්. අපේ රටේ දරුවන් පිළිබඳ වගකිව යුතු පුද්ගලයන්ගේ හිතේ පුංචි තැනක හරි දරු සෙනෙහසක් ගෑවිලාවත් තියෙනව නම් මේ දරුවො ජීවත් වෙන්නෙත් මේ ඉර හඳ යටම තමයි. මේ දරුවෝ ගැනත් මොහොතක් සිතන්න.

o